Today is :October 29, 2020

කළුතර ගැනයි මේ

කළුතර දිස්ත්‍රික්කය ශ්‍රි ලංකාවේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් එකකි. දකුණු දිසාවට පිහිටා ඇත. බල ප්‍රදේශය වන්නේ බටහිරින් ඉන්දියන් සාගරයත්, උතුරින් කොළබ දිස්ත්‍රික්කයත්, නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයත්,  දකුණින් ගාලු දිස්ත්‍රික්කයත් මායිම් වන ප්‍රදේශයයි.

සමණල කඳු මුදුනේ පහස ලබා ගලා එන කළු ගඟ මහ සයුර වැළඳ ගන්නේ කළුතොට දී ය. පුරාණයේ කළුතොට වත්මනෙහි කළුතර බවට පත්ව ඇත.  ගඟක් අවසාන වන ස්ථානයේ සිට එම ගඟ ආරම්භ වන ස්ථානය ද දැකිය හැකි එකම ගංඟාව කළු ගඟ යයි කිව හැකිය. කළු ගඟ මුවදොර අසල පාලමේ සිට නැගෙනහිර දෙස බලන්නෙකු පැහැදිලි අහස ඇති විට ද රාත්‍රි කාලයේ විදුලි පහන් දැල්වු පසුවද සමනළ අඩවිය දිස්වේ. මෙයද කළුතරට හිමි වු ආශ්චර්යාත්මක දසුනකි. කළු ගඟ ආරම්භයේ සිට අවසාන තෙක් ගලායන මිටියාවත ද එකම සශ්‍රික කලාපයකි. එයද කළුතරට සිමා වු සම්පතකි. ශ්‍රි ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක සමඟ සසඳන විට ස්වාභාවික විපත් අවම දිස්ත්‍රික්කය වන්නේද කළුතර දිස්ත්‍රික්කයයි.

සමනළ අඩවියේ සිසිල් පහස ලබමින් දෙපස මිටියාවත් සරුසාර කරමින් මහත් අභිමානයෙන් තමාගේ තුරුලට ළංවෙන කළු ගං කුමරිය සාගර රාජයා විසින් සිප වැළඳ ගන්නේ කළුතර බෝ සමිඳු අභියසදිය. මෙනිසාම පුජණියත්වයෙන් පරිපුර්න වු නෙත ගැටෙනා සුන්දර දසුනක් මැවි තිබේ.

පහත මළුව දෙපසින් ගාලු දෙසට දිවෙන දුම්රිය මාර්ගයත්, මහා මාර්ගයත් නිසා එය තවත් ඔපවත් වී ඇති බව කිවයුතුය. ඩෙල්ටාව වන දුපත වැනි කොටස ගාලු කොලඹ මාර්ගයෙන් බෙදී තිබේ. ඉන් දුම්රිය මග ආසන්න කොටස වර්තමානයේ දුම්රිය දෙපාර්තමෙන්තුව්වේ නඩත්තු කටයුතු සඳහා උපයෝගි කරගෙන ඇති බව පෙනේ. ගාලු පාරට ආසන්න වම් පස භුමිභාගය පුරාණයේ ගව ඝාතන ස්ථානයක් වශයෙන් පැවති අතර කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ බලවත් උත්සාහය මත කලකට පෙර එය ලබාගෙන සංවර්ධනය කර මේ වනවිට වන්දනාකරුවන්ගේ වාහන නවතා තැබිමේ ස්ථානය ලෙස වෙන් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ භීමු ප්‍රමාණයේ විශාලත්වය වර්ග කි.මි. 1598 කි. මුහුදු මට්ටමේ සිට අඩි 1000 සමෝච්ඡ රේඛාව දක්වා උස් බිම් ප්‍රදේශ දිස්ත්‍රික්කය තුළ ඇත. වර්තමානය වන විට දිස්ත්‍රික්කයේ ජන ගහන 1060800 පමණ වේ. බෞද්ධයෝ 890453 පමණ වාසය කරති. මේ නිසාම කළුතර දිස්ත්‍රික්කය බෞද්ධ පුරවරයක් ලෙස කිව හැකිය.  සංබ්‍යාත්මක තොරතුරු අනුව වෙහෙර විහාර 631ක් පමණ  ද පිරිවෙන් 43ක් පමණ ද ලේඛනගත නොවු බෞද්ධ සිද්ධාස්ථාන ද ඇති බව  පෙනේ.

කළුතර පැරණි ශ්‍රි ලංකාවේ රාජධානි ගණනාවකටම සම්බන්ධ ඓතිහාසික වටිනාකමක් ද ඇති දිස්ත්‍රික්කයක් බව කිව හැක. රයිගම රාජධානිය පිළිබඳ තොරතුරු හා නටඹුන් පස්දුන් කෝරළය ආශ්‍රිත ප්‍රදේශයන්හි ද නොඅඩුව පවති. දිස්ත්‍රික්කය තුළ පවත්නා බොහෝ පැරණි සිද්ධාස්ථානයන්හි ආරම්භය ද ඇති වි ඇත්තේ එදා සිටි රජ රාජ මහාමත්‍යවරුන්ගේ අනුදැනුම ආශිර්වාදය නිසා බව ඉතිහාසය පෙන්වයි.

ශ්‍රි ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල බලපවත්නා සෑම දේශගුණික තත්ත්වයක්ම කළුතර ඒ ඒ ප්‍රදේශ තුළ පවති. විවිධ ප්දේශ තුළ නා නා මාධිලියේ කළුගල් පර්වත, ගල්ලෙන්, වන උයන්, කෙත්වතු, විවිධ ගොඩබිම්, කඳු, වනලැහැබ, දිය ඇලි , දොළ පහර, කළු ගඟ  සහ කුඩා ගංගා ආදිය නිසා කළුතර දිස්ත්‍රිකකයේ සුන්දරත්වය මතු වි පිනේ. තෙත් කළාපයට ගැනෙන මෙහි ජිවත්වන සිවුපා, ජලජ, උරග, පක්ෂි වර්ග සහ මත්ස්‍ය සම්පත නිසා දැකුම්කළු දසුන් මැවි ඇත. සොබා දහම් පරිසරයේ මහඟු දායාදයක් වන සිංහරාජ අඩවිය රත්නපුර කළුතර දිස්ත්‍රික් මායිම්ව පිහිටිමද මහඟු උරුමයකි.

ශ්‍රි ලංකාවේ ශ්‍රි විභූතියත් සමඟ පැවත ආ සංස්කෘතික අංගයන් සහ ලක්ෂණ තරමක් දුරට හෝ මේ දක්වා ආරක්ෂාවිම  වර්තමාන ජන සමාජයට ආඩම්බරයකි. අනාගතය වෙනුවෙන් මෙම සම්පත ආරක්ෂාකර තැබිම සැමගේ යුතුකමකි. දිස්ත්‍රික්කය තුළ පාරම්පරිකව ශාන්ති කර්ම, බලි තොවිල්, ඇදහිලි, පුජා විධි, නර්තනය, නාට්‍ය කළාවද ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් සුළු වෙනස්කම් ඇති චාරිත්‍ර අද දක්වා ඒ ඒ නගර, ගම්වල අඩු වැඩි වශයෙන් පැවතිම වාසනාවකි. අතීතයේ සිට මේ දක්වා දිස්ත්‍රික්කයෙන් මතු වී ඇති නායක ස්වාමින් වහන්සේලා, වෙනත් ආගමික නායකයින්, පැවදි සහ ගිහි පඬිවරුන් , උගතුම්, කළාකරුවන් දිස්ත්‍රික්කයට අභිමානයකි.

මුලාශ්‍ර සහ සටහන : කළුතර නගරසභා පුස්තකාලයේ තිබෙන රණසිංහ බෙනරගම ලේඛකයා විසින් රචිත කළුතර පැරණි බෞද්ධ සිද්ධාස්තාන ග්‍රන්ථය ඇසුරුනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *